New

Friday, April 10, 2015

අවුරුදු නැකැත් චාරිත‍්‍ර Aurudu Nakath Charithra

නව සඳ බැලීමේ සිරිත් (Nawa sada balima)

                                                               නව සඳ(Moon)

නව අවුරුදු උදාවත් සමඟ සුබ දිනයක නව සඳ බැලිීම සිදු වන්නේ ද අවුරුදු නැකැත් චාරිත‍්‍රයක් ලෙසිනි. ඊට උචිත සුබ වේලාවක් තිබේ. මෙහිදී සුබ දිනයේ සුබ වේලාව අනුව ගංගෙදර ගෘහමූලිකයා වන පියා ගෙමිදුලට බසී. පසුව සඳ දෙස බලයි. එය නව වසරේ නව සඳ බැලීමයි. මන්දයත් සඳ සාම්ප‍්‍රදායික වැව්ගම්මාන වැසියන්ට ඉතා වැදගත් වූවකි. ඒ ඔවුන් චන්ද්‍රමාස පිළිවෙත් අනුව ගොවිතැන් බත් කරන බැවිනි. තවද උපතේ සිට මරණය දක්වා කුදු මහත් නැකත් කටයුතු සියල්ල සිදු කරනුයේ චන්ද්‍රමාස නැකත් අනුව වේ. එබැවින් සඳේ ගමන් රටාව සිය ජීවන රටාව බවට පත් වී තිබේ. එම ජීවන රටාව සරු කර ගැනීමට උදව් උපකාර කරන සඳට කෘතවේදීත්වය පළ කිරීම මෙහි අරමුණයි. මේ හේතු නිසා නව සඳ බැලීමේදී පියාට මුල් තැනක් ලැබේ. හෙතෙම නව වරේ පළමු සඳ එළිය සිය ගමගෙදර මිදුලේ සිට බලා ඒ සතුට පළ කිරීම සඳහා හූ තුනක් කියයි. ඒ හූ තුන කිව යුත්තේ අහස දෙස බැලීමෙනි. එලෙස පියා සඳට හූ කියන විට මව සහ දරුවන්ද මිදුලට බැසීම සිදු වේ. ඔවුන් සියලූ දෙනා පළමු සඳ දෙස බැලිය යුතුයි. අනතුරුව මව ගෙතුළට ගොස් පැණි රස කැවිලි ගෙනැවිත් සිය පවුලේ ඥාතීන්ට බෙදා දෙයි. ඒ අතරම කලටි පොල් මද ගලවා ඒවාද කෑමට දෙයි. මෙලෙසින් මවගේ සංග‍්‍රහය භුක්ති වින්දාට පසුව දරුවන් සියලූ දෙනා එකට එකතුව රබන් වාදනය කිරීම හා අවුරුදු සද්ද පූජා පැවැත්වීම සිදු වේ. බොහෝ විට මේ රබන් වාදනයන් ගංගෙදර මිදුලේ පැවැත්වෙන හෙයින් එය මධ්‍යම රාති‍්‍රය හෝ පාන්දර යාමය තෙක් හෝ සිදුවන්නකි. අවුරුදු රබන් පද තාලයට වාදනය කරන ගමන් තාලයට රබාන වටා නර්තනයේ යෙදීමද සිදු කරනුයේ නව සඳ දැකීමේ පී‍්‍රතිය වෙනුවෙනි. හෙළ සම්ප‍්‍රදායයට අනුව සඳට වන්දනා නොකෙරේ. එහෙත්, ගොවිතැන් බතට කාල නිර්ණය කර දෙන සොබා දහමේ අපූරු ජීවියාට පෙරළා නව වසර උදා වීමේදී කෘතවේදීත්වය පළ කිරීම සඳහා නව සඳ බැලීමේ චාරිත‍්‍ර අනුගමනය කරන බව හැඳිනගත හැකියි.

පරණ අවුරුද්දට ස්නානය කිරීමේ සිරිත් (Parana avuruddata snanaya)


පරණ අවුරුදු දිනය උදා වන විට වැව් ගම්මානවල ඇත්තන් නව අවුරුද්ද පිළිගැනීමට උදෙසා කායික වශයෙන් අලූත් වීමට අවස්ථාවක් ලබාගනී. ඒ පරණ අවුරුද්දට ස්නානය කිරීමෙනි. මන්ද යත් මෙය අවුරුදු චාරිත‍්‍රයක් බැවිනි. එබැවින් නිරෝගී සියලූ දෙනා ඊට සහභාගි වේ. පරණ අවුරුදු දවසේ තම තමුන්ගේ වැඩපොළවල යෙදෙන අතර, ඉඩකඩ බලා පරණ අවුරුද්දට ස්නානය කිරීම සිදු කරයි. ඒ වෙනුවෙන් ගංකරයේ වෙදාණන්ගේ උපදෙස් පිට උචිත ඖෂධ වර්ග තීන්දු කෙරේ. තවද නැකැත්රාල උන්දෑ සකසා දෙන අවුරුදු නැකැත් සීට්ටුවේ පරණ අවුරුදු ස්නානයට සුබ නැකතක් පිළියෙල කර තිබේ. මේ නැකතට අනුව ගංකරයේ වැවට පැමිණ දෙහි ඇඹුල් නැතිනම් ඖෂධීය කොළ වර්ග ඇෙඟ් උළා හොඳින් ස්නානය කළ යුතුයි. තවද කුඩා දරුවන්ට හා යෞවන - යෞවනියන්ට දිය නෑම සඳහා කොහොඹ කොළ කොටා එම යුෂ ගා ගැනීමට පිළයෙල කර දේ. හිස හා සිරුර හොඳින් මේ ඖෂධ ගල්වා නා ගැනීමෙන් නිරෝගී වේ. එසේම නව වසර උදා වීම පිණිස ඊගාවට එළඹෙන්නේ නොනගතයයි. එබැවින් නොනගතයට පෙර මෙලෙස හිස් සෝදා පිරිසිදු වීම සිදු කළ යුතුයි. තවද නොනගත කාලය හා නව වසර උදා වූ විට හිස දිය නෑම තහංචිය. එයට අවසර හිමි වනුයේ තෙල් ඇඹුල් ගල්වන දිනයේදීයි. එතෙක් දින කීපයක් පුරාවට අවශ්‍ය ශාරීරික සෞඛ්‍ය ගොඩනගා දීම මෙලෙස පරණ අවුරුද්දට ස්නානය කිරීම සිරිතක් ලෙස හුරු කිරීමෙන් පහසුවෙන් සිදු කරගෙන ඇති බව හඳුනාගත හැකිය. අනෙක් අතට උදා වීමට නියමිත නව වසරය. එලෙස අලූත් අවුරුද්ද උදා වන්නේ එය භාර ගැනීමට සිටින්නන් අලූතින් ඊට අනුගත වීමට සූදානම් නම් පමණි. ශාරීරික වශයෙන් පිරිසිදු වීම ද එය අත්‍යවශ්‍ය කරුණකි. ඖෂද වර්ග ඇඟ දල්වාගෙන පිරිසිදු වීම මඟින් ශාරීරික වශයෙන්ද මානසික වශයෙන්ද මහත් ප‍්‍රබෝධය ගෙනෙන කරුණකි. එම ශාරීරික හා මානසික ප‍්‍රබෝධය අලූත් අවුරුද්දට අවශ්‍ය අලූත් වීමේ පරිසරය නිර්මාණය කර දෙන බව හඳුනාගත හැකියි.

අවුරුදු උදාවේ සිරිත්/නොනගතය (Avurudu Udawe Sirith/Nonagathaya)

නොනගතය හෙවත් පුණ්‍ය කාලය දැහැමෙන් සෙමෙන් කල්ගත කරන විට නැකත් සීට්ටුවේ අවුරුදු උදා වන නැකත එළඹේ. එවිට පන්සලේ ඝණ්ටාරය නාද කෙරේ. ඒ සමඟම ගංගෙවල්වල සිට රබන් වාදනය කිරීම සිදු වේ. එය ගෙමිදුලේදී සිදු කරන්නකි. ගංගෙදර ඇත්තන් රබාන වටා එකතු වී රබන් පද වයමින් රබන් කවි ගායනා කරමින් රබාන වටා නර්තනයේ යෙදෙනුයේ අලූත් අවුරුදු උදා වූ සතුට නිම්හිම් නැති හැඟීමක් බැවිනි. අවුරුදු උදාව සටහන් වන නැකත පැමිණීමත් සමඟ රබානට මුල් තැන දෙන අතරම, උණවෙඩි හා බීරංග වැනි ශබ්ද නැගීම ද සිදු වේ. එහෙත්, ගංගෙවල්වලින් පිටතට හෙවත් කඩුල්ල පැන යෑම තහංචිය. එසේම ගෙදර දොර උදවිය සියලූ දෙනාම අලූත් ඇඳුම් ඇඳීමට යොදා ගන්නේ ද මේ නැකත උදා වීමත් සමඟය. ඒ ඒ අවුරුද්දේ නැකත් අනුව වඩා යෝග්‍ය වර්ණ මොනවාදැයි නැකත් සීට්ටුවේ දන්වා ඇත. එයට අනුව අලූත් අවුරුදු උදා වන නැකත පැමිණෙන තෙක් අලූත් ඇඳුම් ඇඟලීමට අවසර නොමැත. අවුරුදු උදාව සිදුවීමත් සමඟ අලූත් ඇඳුම් ඇඟලාගෙන නිවැසියන් තුටුපහටු වන්නේ තම ගංගෙදරදීය. එසේම එකිනෙකාට සුබ පැතීම තහංචියක් ලෙස සැලකේ. මන්ද අවුරුදු උදා වීමේ නැකත සටහන් වුවද ලිප ගිනි දැල්වීමේ නැකත පැමිණෙන තුරු අවුරුදු කුමාරයාගේ පැමිණීම නොපිළිගැනේ.

පුණ්‍ය කාලයේ සිරිත් (Punyakalaya)

‘නොනගතය’ නැතිනම් ‘සංක‍්‍රාන්ති කාලය’ වැව් ගම්මාන වැසියන්ට ‘පුණ්‍ය කාලය’ වේ. එය පරණ අවුරුද්ද ගෙවෙන අවස්ථාවේ දී උදා වේ. එහෙත්, අලූත් අවුරුද්දට අයත් නොවන කාලයක් ලෙස සැලකේ. එබැවින් වැව් ගම්මාන වැසියන් විසින් ‘අවුරුදු කෝණය’ ලෙසින් ද පුණ්‍ය කාලය හඳුන්වනු ලබයි. මේ කෝණ කාලය නැකත් නොමැති කාලයක් ලෙසින් සැලකේ. යළි නැකත් උදා වන්නේ අවුරුදු එළඹුම් අවස්ථාවේදීය. එබැවින් එය කෝණ මංගල්ලය යනුවෙන් හැඳින්වේ. පුණ්‍ය කාලය උදාවීමත් සමඟම පන්සලේ ඝණ්ටාරය නාද කෙරේ. නැතිනම් ගෙඩිය ගසයි. එය එක දිගට නොනවත්වා විනාඩි දෙක තුනක් සිදු කරන්නකි. ඒ සංඥාවත් සමඟ නොනගතය උදා වූ වග පිළි ගැනේ. එයට අනුරූපව නොනගත කාලයේදී ඉටු කළ යුතු සිරිත් පිළිපැදීමට සූදානම් වනුයේ ජනසම්මත පිළිවෙත් අනුවය. පළමුව තහංචි රැුසක් අනුගමනය කිරීම මෙහිදී සිදු වේ. ආහාරපාන තහංචි ඒ අතර ප‍්‍රධානය. දිය බීමට හැකිය. එහෙත්, අවුරුදු කැවිලි වර්ග හෝ පලතුරු හෝ අහරට ගැනීම නැතිනම් පෙරදින පිසූ ආහාර අනුභවය තහංචිය. කොටින්ම මේ වන විට කලින් දින පිසින ලද බත් වෑංජන වර්ග සියල්ල ඉවත් කර තිබේ. එසේම ගංගෙවල්වලින් ගංගෙවල්වලට යෑම, අල්ලාප සල්ලාපයේ යෙදීම, ජන කෙළිවල යෙදීම හෝ පංචා පෙත නැතිනම් නෙරෙංචි ඇදීම වැනි ජනකෙළි තහංචි නොවෙයි. ගිනි බෝ කිරීම, ආහාර පිසීම සපුරා තහනම්ය. කැත්ත උදැල්ලේ කටයුතු මෙන්ම ඉලපත රැුගෙන ඇමදීම හෝ ඉදල ගෙන මිදුල අතුපතු ගෑම හෝ තහංචි කටයුතුය. නොනගත කාලයේ වැඩියෙන්ම සිදු කරනුයේ පන්සල් යෑම හා ආගමික වතාවත්වල යෙදීම පමණි. එයට තහංචි නැති වුවද ගංගෙවල් ගානේ ගොසින් අල්ලාප සල්ලාප කතාබහ කිරීම තහංචි ලෙස පිළිගැනේ. එසේම මේ වන තෙක් පවත්වාගෙන ආ අවුරුදු සද්ද පූජා සියල්ල තහංචි වේ. කිසිඳු විටක රබන් වාදනය කිරීම, උණවෙඩි හෝ බීරංක වැනි හඬ පූජා සියල්ල නවතා දමති.

ගංගෙවල සිටින සියලූ දෙනා එකට එකතු පහදු වෙලා පන්සල් යෑමට සැරසේ. ඒ සඳහා තෙල්, මල් හා සුවඳ කූරු ආදිය කල් ඇතිව පිළියෙල කර තිබේ. මෙලෙස ගංකරයේ පිරිස පන්සල් පැමිණෙන විට හමු වී කතාබහ කිරීම සාමාන්‍ය පිළිවෙතකි. එහෙත්, එකිනෙකාට සුබ පැතීමක් හෝ අලූත් අවුරුදු සුබ වේවා හෝ ශුභාශිංසන සිදු කිරීමක් සිදු නොවන්නේ නොනගත කාලය ඊට උචිත නොවන හෙයිනි. ගංකරයේ ඇත්තන් පන්සලට පැමිණෙන විට පන්සලේ භික්‍ෂූන් වහන්සේලා විසිනි ‘අවුරුදු පිරිත’ පුරනු ලබයි. ඒ තුන් සූත‍්‍රය සජ්ඣායනා කිරීමෙනි. එය ශ‍්‍රවණය කිරීමට අවසර ඇත. එහෙත්, ඊට සහභාගී වීමට අවසර නැත. එලෙසම පිරිත් වතුර හෝ පිරිත් නූල් හෝ ලබා ගත නොහැකිය. පන්සලට මෙලෙසට ගංකරයේ උදවිය පැමිණෙන විට නායක හිමියන් හා ගංකරයේ වෙදාණන්, මහ ගමරාල හා විදානේ උන්දෑ බඳු වැඩිහිටියන් පන්සල් පැමිණි ඇත්තන් සමඟ සල්ලාප කතාවේ යෙදෙනු දැකිය හැකියි. එමඟින් යම් ආකාරයක ඇයි හොඳයිකම් නැති නොහොඳ නෝක්කාඩු වී සිටින ඇත්තන් එකිනෙකාගේ දුබලතා ඔවුනට වටහා දි අලූත් අවුරුදු උදාවත් සමඟ මේ පැරැුණි අමනාපකම් අත්හැර දමාපල්ලා යැයි ඉල්ලීමක් කරයි. එය දයාබර ආමන්ත‍්‍රණයකි. උදාවන්නේ නව වසරකි. අලූත් අවුරුද්දට තවදුරටත් මේ තරහා මරහා රැුගෙන යෑමෙන් සියලූ දෙනාට අවැඩක් සිදු වන බව අවබෝධ කර ගැනේ. එබැවින් යම් ආකාරයක හිත් පලූදු වී සිටිය ඇත්තන් සිටී නම් ඔවුනොවුන් අවුරුදු උදාවේ ඒ ගංගෙවලට පැමිණ බුලත් දී කතාබහ කර පැරැුණි අමනාපකම් සියල්ල ඉවත් කිරීමට පුණ්‍ය කාලයේ මේ සිරිත් උපයෝගී කර ගනී. නැකත් නොමැති අතරමැදි කාලය හෙවත් සංක‍්‍රාන්ති සමය පින් රැුස් කර ගැනීමට භාවිත කිරීමෙන් හිතට සහනයක් සැලකේ. අලූත් අවුරුදු උදා වන විට එම අලූත් අවුරුද්ද අලූතින් දැකීමට හැකි මානසිකත්වයක් අවුරුදු සිරිත් ඇසීම හා අමනාපකම් දුරු කර ගැනීමෙන් සිදු වේ. ඒ අතරම ගෙදරදොර ආහාර අනුභවයේ සිට සියලූ කටයුතු අත් හැරීම නිසා අලූත් අවුරුදු උදාවන නැකත් පැමිණෙන තුරු මඟ බලා සිටිනුයේ නොනිත් ආශාවකිනි.

කිරි ඉතිරීමේ සිරිත් (Kiri Itirawima)


අලූත් අවුරුදු නැකතට හා හා පුරා කියා ලිප ගිනි දැල්වීමෙන් පසුව සිදු වන්නේ කිරි ඉතිරීමේ සිරිත් අනුගමනය කිරීමය. ඒ සඳහා නැවුම් මැටි මුට්ටියක් කල් ඇතිව ලබා ගෙන ඇත. එය උපයෝගී කරගෙන කිරි උතුරුවන්නේ පට්ටියෙන් දොවා ගත් එළකිරි යොදා ගනිමිනි. එසේ නොමැති විට ඊට පොල්කිරි භාවිත කෙරේ. මෙහිදී නැවුම් මැටි මුට්ටියට කිරි දමා එය යහමින් පත්තු වන ලිප මත තබයි. ඒ සමඟම මුට්ටිය වටේට ගිනි දලූ නැගෙන ලෙස ගින්දර මේච්චල් කරයි. ඒ කටයුතු මවට භාර වේ. මුට්ටි කටින් වටේට කිරි උතුරා යන ආකාරයට ගිනිදලූ මේච්චල් කිරීම මෙහිදී දැකගත හැකි අතර, එක් පැත්තකින් ගින්දර බෝ වේ නම් එවිට එක් දිශාවකින් පමණක් කිරි උතුරා යයි. එසේ නොවී, මුට්ටි කටෙන් වටේට කිරි උතුරා යන ලෙස ගින්දර හසුරුවා ගැනීමට මේ සිරිත හා බැඳුණු පිළිවෙතකි. කිරි උතුරා යන විට බීරංග හැඬවීම, උණවෙඩි හැඬවීම හා රබන් වාදනය ජයට සිදු වේ. තවද මුට්ටියේ උතුරා යන කිරි නවතාලීමක් සිදු නොවන හෙයින්, එම කිරි ඇවිළෙන ලිපෙන් බා ගනී. එය ගොවිගෙදර ගෘහමූලික තෙමේ රැුගෙන ගොසින් ගේ වටේට හා වී බිහි, කුරක්කං අටු ආදියට බින්දු බින්දු වැටෙන ලෙස දෙහි කොළ අත්තකින් හෝ කොහොඹ කොළ අත්තකින් හෝ ඉසිති. ඒ කටයුතු අවසන් කර කිරි මුට්ටිය ගංගෙදර වළන් මැස්සේ තැබීමද මේ සිරිතේ කොටසකි. මෙලෙස උතුරා ගිය කිරි මුට්ටියේ ඉතිරි කොටස් ගේ වටා හා ධාන්‍ය ගබඩා වටා ඉසිනුයේ සශී‍්‍රකත්වය බලාපොරොත්තුවෙනි. කිරි මුට්ටිය උතුරා යෑම සුබ පල නිමිත්තක් ලෙස සැලකේ.

වැඩ ඇල්ලීමේ සිරිත් (Wada Allima)

අලූත් අවුරුද්දට නැකතට ලිප ගිනි දල්වන තුරු හාහාපුරා කියා අවුරුදු කටයුතුවල යෙදීම තහංචියකි. එබැවින් මේ සඳහා සිරිත් සම්මත පිළිවෙත් අනුගමනය කෙරේ. එයට අනුව නැකතට ලිප ගිනි දැල්වීමේ නැකත උදා වූවාට පසුව එළඹෙන කාලය සුබ මූර්ථය ලෙස සැලකේ. එනම් සුබ කටයුතු සඳහා උචිත වේලාවය. මේ වෙලාවේ යොදා ගන්නා පළමු කාර්යය වන්නේ වැඩ ඇල්ලීමය. මන්දයත් මේ වන තෙක් අලූත් අවුරුද්ද උදා වූවා යැයි කියා නිශ්චිත රාජකාරී කටයුතු ආරම්භ කර නොමැති බැවිනි. අලූත් අවුරුද්දේ වැඩ ඇල්ලීම ක‍්‍රම දෙකකට සිදු වේ. ඒ දෙපාර්ශ්වරයක් ලෙසිනි. පියා, පුතණුවරුන් හා බෑනණුවන් සමඟින් ගෙමිදුලට බැස කැත්ත - උදැල්ලේ වැඩ සඳශා මුල පිරීමක යෙදේ. මව කුස්සියාලත්තට ගොසින් දියණිවරුන් හා ලේලිවරුන් සමඟ ඇඹුල්කැත්ත ආධාරයෙන් ඉයුම් පිහුම් කටයුතුවලට මුල පුරයි. එතෙක්, ගංගෙදර ¥ පුතුන් මෙවලම් අතින් අල්ලා දෛනික කටයුතු වල යෙදීමෙන් වළකී. එය නොනගතයේ දී සිදු කළ චාරිත‍්‍රයකි. මෙලෙසින් කුස්සියාලත්තේ දී හා ගෙමිදුලේදී අවුරුද්දට වැඩ ඇල්ලීම පිණිස අවශ්‍ය මෙවලම් සියල්ල නොනගත කාලයට පෙර සූදානම් කර තැබීමද මේ හා බැඳුණු සිරිතකි. පළමුව පියා ගෙමිදුලට පැමිණේ. එය අනුකරණය කරමින් බාල හා තරුණ පුතණුවරු ගෙමිදුලට එති. එලෙස එන්නේ ගංගෙදර ගෙමිදුලේ හිටුවා තිබෙන මල්පැල ගාවටය. අවුරුදු කුමාරයා උදෙසා හිටුවා තිබෙන මේ මල්පැල අද්දර උදැල්ල හා වක්කැත්ත තබා තිබේ. ඒ සමඟම කිරි අත්තක් ලෙස කොස් ගසක අත්තක් ද සූදානම් කර තබා ඇත. පියාණන් ඔහුට වැඩිමහලූ සිය පියා හෝ අත්තාවරුන් හිටී නම් මේ සඳහා ආරාධනා කරයි. එලෙස එම පවුලේ ප‍්‍රධානියා පළමුව වක්කැත්ත අතින් අල්ලා ඊට තෙවරක් වැඳ නමස්කාර කර එම මෙවලම් හිරු දෙසට ඔසවා කොස් අත්තට පාර කීපයක් ගසයි. මෙලෙසින් වක්කැති පාර කොස් අත්තට වදින විට එම කොස් අත්තෙන් කිරි බේරීමට පටන් ගනි. එබැවින් පළමු වක්කැති පහරින් කොස් අත්තෙන් කිරි වාහින විට ඊගාවට උදැල්ල රැුගෙන හොඳින් පොළොව කොටා පවුලේ අනෙක් වැඩිමහලූ පිරිමියාට ආරාධනා කරයි. එලෙස වයසේ පිළිවෙළ අනුව පළමුව වක්කැති පහර කීපයක් කිරි අත්තට ගසා උදැල්ලෙන් කෙටීම සංකේතාත්මකව සිදු කළ ද එම කාර්යයන් අවසන් වන තුරු රබන් වාදනය කිරීම තහංචියක් ලෙස සැලකේ. එයට පසුව ගමගෙදර ගෙමිදුලේ හෝ සුදුසු තැනක් බලා හෝ පැඟිරි ගසක්, පොල් පැළයක් නැතිනම් කොස්, පුවක් හෝ ඖෂධ පැළයක් වශයෙන් හෝ කිසියම් පැළයක් ගේ අවට හිටුවයි. මේ කටයුතු මෙලෙස සිදුවන විට ගංගෙදර පිරිමි උදවිය ඒ සතුට අන්‍යයන් සමඟ බෙදා ගන්නේ රබන් වාදනය කිරීමෙන් හෝ බීරංග නැතිනම් උණකොට වෙඩි පත්තු කිරීමෙනි. කුස්සියාලත්තේ දී මවගේ මූලිකත්වයෙන් වැඩ ඇල්ලීම දියණිවරුන්ට පැවරෙන අවුරුදු සිරිතකි. ඒ උදෙසා ගංගෙදර සියලූම ස්තී‍්‍රන් සම්බන්ධ කර ගනී. ඔවුන් කුස්සියාලත්තට පැමිණ පළමුව මව අවුරුදු චාරිත‍්‍රයට වැඩ අල්ලන තුරු කතාබස් නොකර සිටිති. මව පළමුව වැඩ ඇල්ලීම උදෙසා සිදු කරනුයේ සාම්ප‍්‍රදායික පිළිවෙතකි. ඇඹුල්කැත්ත ආධාරයෙන් කිරිකජු කීපයක් කපා ගනී. කිරිකජු කැපීමෙන් කැත්ත සමඟ කිරි ගසක සාරය ලබා ගැනීම අපේක්‍ෂා කෙරේ. මවට වඩා වැඩිහිටි අත්තම්මා කෙනෙකු සිටී නම් එම ගංගෙදර මූලිකයා ලෙස වැඩිහිටි කාන්තාවට අවුරුද්දේ වැඩ ඇල්ලීම බඳු සිරිත් පැවරේ. ඒ සමඟම දියණිවරුන් සියලූ දෙනාද එක් එක් කජු නාඹරය බැගින් හෝ වෙන්වෙන ආකාරයට ඇඹුල්කැත්තෙන් වැඩ පටන් ගනී. ඒ අතරම හත්මාළුව පිසීම සඳහා කළමනා සූදානම් කර ගන්නේ ද දියණිවරුන් හා ලේලිලා සමඟ සහයෝගීතාවෙනි. අයකු කොස්ඇට පවිත‍්‍ර කරන අතර, තවකකු මෑ කරල් කඩා දමයි. මෙලෙසින් වට්ටක්කා දලූ, පුහුල් හෝ කැකිරි ආදිය සූදානම් කෙරේ. මන්ද හත්මාළුව සැකසීම පිණිස එළවළු වර්ග හතක් වුවමනා වේ. එය දියණිවරුන් රාශියක් සිටින පවුලකට සාමූහිකව සතුටින් කළ හැකි කාර්යයකි. ඒ සමඟම කිරිබත පිළියෙල කිරීම, අවුරුදු බත සූදානම් කිරීම හා වෙනත් වෑංජන වර්ග සෑදීම ආදී අවුරුදු කෑම මේසයේ කාර්යයන් සඳහා අවස්ථාව සැලසේ. මවගේ හා පියාගේ ගුරුහරුකම් ලබමින් දරුවන් අවුරුද්දට වැඩ අල්ලන විට ඒ සියලූ දෙනා අලූත් ඇඳුම්, එනම් එම අවුරුද්දට උචිත වර්ණවලින් සැදුම් ලත් වස්ත‍්‍ර ඇඟ ලා සිටීමද මේ සිරිතේ කොටසකි. එමෙන්ම පියාගේ මූලිකත්වයෙන්ද, මවගේ මූලිකත්වයෙන්ද ඒ ඒ ගංගෙවල මෙලෙස වැඩ අල්ලන විට දරුවන් ගෙමිදුලේ සිට රබන් වාදනය කිරීම ද සිරිතක් බවට පත් වී ඇත. අල්ලාප සල්ලාපයේ යෙදෙමින් භාවිතයට ගන්නා වූ මෙවලම් උදෙසා ගරුසරු දක්වමින් අවුරුදු චාරිත‍්‍ර සිදු කරන විට ගෙදර දොරවල සිනා බෝ වන්නේ හදපිරි දයාව උතුරා යන බැවිනි.

හිස තෙල් ගෑමේ සිරිත් (Hisa Tel Gama)

අවුරුදු නැකත් අනුව හිස තෙල් ගෑමේ සිරිත් පැවැත්වේ. එමඟින් ආයුරාරෝ සම්පත් ප‍්‍රාර්ථනා කෙරේ. අත දරුවාගේ පටත් අරෝබලත් ඇත්තා දක්වාම ගංකරයේ සියලූ සාමාජිකයින්ට ආයුෂ සැපත ප‍්‍රාර්ථනා කිරීම මෙහි අරමුණ වේ. එහෙයින් යහපත් සෞඛ්‍ය පිළිවෙතක් උදෙසා නව වසරට ආශිර්වාද ලබා ගැනීම පිණිස ගංකරයේ සියලූ දෙනා පන්සලට පැමිණේ. සිරිත් සම්මත පිළිවෙත් අනුව හිස තෙල් ගෑම සිදුවන්නේ පන්සල් භූමියේය. එය ගංකරයේ පෞද්ගලික ස්ථානවල හෝ එකිනෙකාගේ අභිමතය අනුව සිදු කිරීම තහංචියකි. පුරාණ අවුරුදු චාරිත‍්‍ර අනුව පන්සල් බිමට සියලූ දෙනා පැමිණෙන්නේ රත්නත‍්‍රයේ ආශිර්වාද සහිතව හිස තෙල් ගා ගැනීම සඳහාය. එකිනෙකාගේ ගංගෙවල දී හිස තෙල් ගෑමෙන් රත්නත‍්‍රයේ ආශිර්වාදය නොලැබේ. හිස තෙල් ගෑම සිදු වන්නේ නැකතටය. එතෙක් නව වසර සඳහා හිසට තෙල් ඇඹුල් ජාති ගෑම හෝ හිස සෝදා පවිත‍්‍ර කිරීම තහංචියකි. එබැවින් නැකත් වෙලාවට ගංකරයේ ඇත්තන් පන්සල් භූමිය වෙත පැමිණෙන්නේ වසරේ පළමු හිසතෙල් ගැල්වීම උදෙසාය. ඊට අවශ්‍ය ඖෂධීය නානු වර්ග කල් ඇතිව පිළියෙල කෙරේ. එම කටයුත්ත පැවරී තිබෙනුයේ ගංකරයේ වෙදාණන්ටය. අවශ්‍ය වන ඖෂධ සොයා නානු පිළියෙල කිරීම උදෙසා අනෙක් ඇත්තෝද උදව් කරති. ඒ අතර හිසට හා පයට අවශ්‍ය ඖෂධීය ශාක කොටස් ගෙනැවිත් පන්සලේ සුදුසු ස්ථානයක ඒවා පිළියෙල කිරීම සිදු වන්නේද අත්තමටය. ඒ සියල්ලෙහි නායකත්වය ගංකරයේ වෙදාණන්ට පැවරේ. නැකත් වේලාව උදා වූ විට පළමුව සුබ දිශාව බලාගෙන නායක හිමියෝ සියතින් හිසට තෙල් ඇඹුල් ගල්වන විටදී ගිහියන් අතරින් ප‍්‍රමුඛස්ථානය ගංකරයේ වෙදාණන්ට පවරා දෙයි. එයින් පසු වැඩිහිටි පිළිවෙළට පිරිමි ඇත්තන් එක පෝලිමක් වන ලෙසද, බවලතුන්, තවකෙක ද පෙළ ගැසේ. එහෙත් බවලතුන්ගේ හිසට තෙල් ඇඹුල් ගල්වනු ලබනුයේ ගංකරයේ වෙදාණන් විසිනි. ඒ කාර්යයන් භික්‍ෂූන් වහන්සේලාට අකැපය. මෙලෙස ගංකරයේ උදවිය පන්සලට පැමිණ තෙල් ඇඹුල් ගල්වා ගන්නා අතර, අරෝබලත් ඇත්තන්, රෝගී වූවන් හා බිලිඳුන් ගංගොවල සිටි නම් ඒ උදවිය සඳහා පත්කොළයකට තෙල් ඇඹුල් ඩිංගිත්තක් රැුගෙන යති. මෙලෙසින් ගංකරයේ පන්සලේ තෙල් ඇඹුල් ගල්වන විට නැකත් උදා වූ බව දැන්වීමට ඝණ්ටාරය නාද කරවයි. එයත් සමගම ගංකරයේ අනෙක් ඇත්තන්ද රබන් වාදනය කිරීම හා අවුරුදු සද්ද පූජා කිරීම ජයටම සිදු වේ. මෙලෙසින් පන්සල් භූමියට පැමිණ හිස තෙල් ඇඹුල් ගල්වා ගත් පසුව අවුරුදු පිරිතින් පිරිත් වතුර ලබා ගැනීමට හා පිරිත් නූල් ලබා ගැනීමටද අවසර තිබේ. එසේම තෙල් ඇඹුල් ගෑමේ නැකත් උදා වන්නේ පෙරවරුවටය. ගංකරයේ ඇත්තන්ගේ හිස තෙල් ඇඹුල් ගා අවසන් වූ පසුව කරත්ත බඳින ගොන්නුන්ට හිස තෙල් ගැල්වීමට තෙල් ඇඹුල් ඉල්ලා ගනී. එලෙස සතුන් සඳහා හිස තෙල් ගල්වන්නේ නම් එයට ගංකරයේ ජීවත් වන උදවිය තෙල් ඇඹුල් ගා අවසන් වනතුරු සිටිය යුතුය.

නැකතට රස්සාවට යාමේ සිරිත (Nakathata Rassawata Yama)

අලූත් අවුරුද්දේ අලූතින් වැඩ ආරම්භ කරන්නේ නැකත් අනුවය. එය ලිප දල්වා ආහාර පිසීමේ සිට අනුභවය ද ආයුරාරෝ සම්පත් පතා හිස තෙල් ගෑම දක්වාම සිදු වන්නකි. ඒ සිරිත් ලෙස ඉටු කළ යුතු තවත් චාරිත‍්‍රයක් නම් නැකත් වේලාවට රස්සාව බලා පිටත් වීමය. මෙය ගංකරයේ සියලූ රස්සා කරන්නන්ට පොදු සිරිතක් ලෙස සැලකේ. ගොවීන්, ගොවිතැන් කටයුතු සඳහා පිටත් වන අතර, අනෙක් සේවා සපයන්නන් ද තම තමුන්ගේ රාජකාරී ආරම්භ කිරීමට ඉදිරිපත් වේ. රැුකියා බලා පිටත් වීමේ නැකත් උදා වන්නේ පෙරවරුවේය. එහෙත් රැුකියා කටයුතු වෙනුවෙන් ඉදිරිපත් වීමත් සාම්ප‍්‍රදායික වැව් ගම්මානවල දී දැකගත නොහැකිය. මේ නැකත් වේලාවට පෙර තම ගංගෙර දි කිරිබත් අනුභව කෙරේ. එයද ඒ ඒ අවුරුද්දට නියමිත පිළිවෙතටය. පසුව නැකතට ගංගෙදරින් එළියට බසින්නේ යෝජිත සුබ දිශාව දෙස බැලීමෙනි. උදැල්ල හා වක්කැත්ත අතැතිව ගංගෙදරින් එළි බසින්නේ කෙතට පිටත් වීම අරමුණු කරගෙනය. නව වසර උදා වීමෙන් පසුව ගංකරයේ සියලූ දෙනා අවුරුදු සිරිත් අනුගමනය කරමින් නැකතට තම තමුන්ගේ ගංගෙවලින් පිටත් වී සතුටු සිතින් රැුකියා කරන ස්ථානය වෙත පැමිණේ. ඒ ලෙසින්ම කම්මල්කරුවන්, වළන් තනන්නන්, රෙදි අපුල්ලන්නන්, නැකත්රාලවරුන් සේම අනෙකුත් සියලූ වෘත්තිකයින් රැුකියා බලා පිටත් වීමේ නැකත් අනුව තමුන් නිරත රැුකියාවේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වේ. මෙලෙසින් එකම නැකත් වේලාවකට ඒ ඒ වෘත්තීනහි නිරත සියලූ දෙනා රස්සාවට යන අතර, ඔවුන් පෙර නොවූ විරූ ජවයකින් හා හිතේ සතුටකින් රැුකියාවේ යෙදීමට යුහුසුලූ වේ. මන්දයත් මේ නව වසරේ පළමු දින තම රස්සාවේ නිරත වීමය. එයද සුබ නැකතකින් සුබ දිශාව බලා ආරම්භ කිරීම මඟින් හිතට සතුට මෙන්ම ගතට ජීවයක්ද සහිත අවුරුදු ප‍්‍රබෝධයෙන් යුක්තව ආරම්භ වන්නකි.




1 comment: